Sunday, October 27, 2013

තනිව සටන් කිරීම යනු තනි තනිව විනාශ වීමයි

ඔබ සැම දන්නා පරිදි මේ වන විට අධ්‍යාපනය සම්බන්ධයෙන් ගැටළු රාශියක් මතුව ඇත. ලංකාවේ දූෂිතම ආයතන අතරට අධ්‍යාපනය සම්බන්ධ ආයතන පැමිණ ඇත . පාසලට දරුවා ඇතුලත්කරගැනීමට මවට ලිංගික අල්ලස් දීමට සිදුව ඇත. උසස් පෙල ප‍්‍රතිථල අවුල් කර සිසුන්ට පාරට බැසීමට සිදුව ඇත . ශිෂ්‍යත්ව ප‍්‍රශ්ණ පත‍්‍ර කලින් පිටවී ඇත. පාසල් පෙල පොත් වල කුණුහරුප කරුණු ඇතුලත්කර ඇත . පාසලට මුදල් ගෙවීමට ශිෂ්‍යාවකට පොල් ගෙඩි සොරකම් කිරීමට සිදුවී ඇත. තම එකම ආදායම් මාර්ගය වන ඔරුව විකුණා දරුවා පාසලට ඇතුලත් කිරීමට සිදුව ඇත. ආචාර්යවරුන්ට වීදිපුරා සටන් කිරිමට සිදුව ඇත . යාපනය, රජරට, සබරගමුව, ජයවර්ධනපුර, ආදී සරසවි වල ශිෂ්‍ය සංගම් තහනම් කර ,ශිෂ්‍යභාවය අහෝසිකර පංති තහනම් කර, මැරයන් ලවා ශිෂ්‍යන්ට පහරදීම් සිදුකර ඇත . ආරක්ෂක අංශ නිලධාරීන් සරසවි සිසුන්ගේ ගෙවල් වලට ගොස් මරණ තර්ජන එල්ලකර ඇත. මහපොල ,ශිෂයාධාර වැඩිකරන ලෙස, නේවාසිකාගාර ගැටළු ඇතුලූ සුභ සාධන ගැටලූ විසඳන ලෙස, ශිෂ්‍යන්ගේ ආරක්ෂාව තහවුරුකරන ලෙස, අධ්‍යාපනයේ නිදහසත් නිදහස් අධ්‍යාපනයත් දිනා ගැනීම වෙනුවෙන් සිසුන් වීදි පුරා සටන් කරනු ඇත . මේ අපේ රටේ අධ්‍යාපන මධ්‍යස්ථාන සම්බන්ධව ඇති ප‍්‍රශ්ණ වේ. මෙම තත්වය අහඹු ලෙස උදා වූවක් නොවේ, මෙය පාලකයන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් තිබෙන ප‍්‍රතිපත්ති වල අනිවාර්ය ප‍්‍රතිඵලය වේ. එය ඉතිහාසය පුරාවට වරින් වර බලයට පත්වූ පාලකයන් නොකඩවා ගෙන ආ අධාපනය සම්බන්ධ ප‍්‍රතිපත්තිය වේ.

 1948 සිදුවූ අධ්‍යාපන ප‍්‍රතිසංස්කරන වලින් පසු එතෙක් ධනපති පන්තියට පමණක් සීමාවී තිබූ අධ්‍යාපනය ලැබීමේ අයිතිය සියලූ වැඩකරන ජනතාවගේ දරුවන්ගේ අයිතියක් විය. නමුත් 1977න් පසු එලබි නව ලිබරල් ධනවාදී ආර්ථිකය තුල සියලූ සුබසාධන සේවාවන් ලාභ ලබන ආයතන බවට පත්කිරීමේ පත් කිරීමේ ප‍්‍රතිපත්තිය මත සියලූ සුභ සාධන සේවාවන් ලාභ ලබන ආයතන බවට පත්කෙරිනි. එය අධ්‍යාපනය සඳහාද එසේම විය. එබැවින් නව ලිබරල් ධනවාද‍යේ ආරම්භයත්  සමග  රටේ සියලූ  දරුවන්ගේ අයිතියක් වූ අධ්‍යාපන අයිතියද කප්පාදුවට ලක්විය. මෙසේ අයිතීන් කප්පාදුවට ලක්වෙද්දී ශිෂ්‍යන් ඊට එරෙහිව සංවිධානය විය සටන් කරන්නට විය. අධ්‍යාපන ධවල පති‍්‍රකාවට එරෙහිව , සරසවි සංශෝධන පනත් වලට එරෙහිව , කිංස්ලි සිල්වා වාර්ථාවට එරෙහිව ,පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පනතට එරෙහිව ආදී විවිධ අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණයන් වලට සිසුන් සටන් කරන්නට විය එවිට පාලකයන් එයට එරෙහිව අවි අමෝරාගෙන ශිෂ්‍යන්ට එරෙහිව යුද්ධ ප‍්‍රකාශ කරන්නට විය. ශිෂ්‍යන් මර්ධනය කරන්න විය. ශිෂ්‍ය ගැටලූ වලට ඔවුන් දුටු එකම විසදුම මර්ධනයයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස පංති තහනම් කිරීම්, ශිෂ්‍ය භාවය අහෝසි කිරීම්, ශිෂ්‍ය සංගම් තහනම් කිරීම් , පහරදීම්, ඝාකනය කිරීම් හා සිරගත කිරීම් දක්වා වර්ධනය විය.

යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාර වලට ආරක්ෂක අංශ නිලධාරීන් කඩාවැදී සිදුකල පහරදීමේ සිට රජරට, රුහුණ, සබරගමුව, කැළණිය, සරසවි සිසුන්ට වරින් වර සිදුකල පහරදීම් වල සිට මේ වන විට කැලණිය ශිෂ්‍ය නේවාසිකාගාරයට පහර දීම දක්වාත් ජයවර්ධනපුර, සබරගමුව, රජරට සරසවි වල ශිෂ්‍ය සංගම් තහනම් කිරීම්, ශිෂ්‍ය භාවය අහෝසි කිරීම් තහනම් කිරීම් දක්වාත් නැවත වටයකින් පාලකයන් ශිෂ්‍ය මර්ධනය ආරම්භ කර තිබේ

ශිෂ්‍ය සටන් වල සාධාරණ හෝ අසාධාරණභාවය පාලකයන්ට වැදගත් නොවන්නේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ඔවුන්ගේ ප‍්‍රතිපත්තිය කි‍්‍රයාත්මක කිරීම ඔවුන්ගේ අරමුණ බැවිනි. එබැවින් ශිෂ්‍ය ජීවිත වල වගකීමක් ඔවුන්ට නොමැත . ඔවුන්ට ඇත්තේ අධ්‍යාපනය පෞද්ගලීකරණය කර එය ලාභ ලබන තත්වයට ගෙන පත්කිරීමේ ආර්ථික ප‍්‍රතිපත්තියේ පිහිටා කටයුතු කිරීම පමණි.

2009 වසරේ යුද්ධය අවසාන වීමත් සමග නව ලිබරල් ධනවාධයේ දෙවන ඉනිම ක‍්‍රියාත්මක කිරීමට පාලකයන්ට හැකි විය. එහිදී පලමු ඉනිමේදී සාර්ථක කරගැනීමට නොහැකි වූ අංශ වෙතට අත තබන ලදී. මෙහිදී අධ්‍යාපනය සම්බන්ධයෙන් ධනපති පාලකයන්ගේ ප‍්‍රතිපත්තිය නැවත වරක් කි‍්‍රයාත්මක කිරීමට උත්සාහ ගැනීමේදී පාලකයන් මුලින් ශිෂ්‍යන් මර්ධනය කිරීමට උත්සාහ ගත්තේය. රහස් පොලිස් ඔත්තුකරුවන් සරසවි වලට රීංගවා කෙසේ හෝ ශිෂ්‍ය කි‍්‍රයාකාරීන් මර්ධනය කර ශිෂ්‍ය සටන් අඩපන කර 2011 වසරේදී පෞද්ගලික විශ්වවිද්‍යාල පනත සම්මත කර ගැනීමට උත්සාහ දැරුවේය. එවිට  SB ඇමතිතුමා කීවේ කවුරු විරුද්ධ වුවද පෞද්ගලික විශවවිද්‍යාල ආරම්භ කරන බවය . නමුත් ශිෂ්‍ය ශක්තිය හමුවේ පාලකයින්ට එම පනත හකුලා ගැනීමට සිදුවිය .

නමුත් ඉන් පසු ගතවූ වසර දෙක තුල පාලකයින් පරාජය බාරගෙන නිහඩව සිටියේ නැත . පෙරටත් වඩා දරුණු ලෙස ශිෂ්‍ය මර්ධනය කැඳවීය .එහි ප‍්‍රතිඵලයක් ලෙස මේ වන විට සබරගමුව, රජරට, ජයවර්ධනපුර, පාලි හා බෞද්ධ, ශි‍්‍ර ලංකා විවෘත විශ්වවිද්‍යාලය වැනි උසස් අධ්‍යාපන ආයතන වල ශිෂ්‍ය සංගම් තහනම් කර, ශිෂ්‍ය භාවය අහෝසි කර, මැරයන් ලවා ශිෂ්‍යන්ට පහරදීම් සිදුකර ,මරණ තර්ජන එල්ල කර මර්ධනය කැඳවීය. ශිෂ්‍ය මර්ධනය සඳහා නිල මැරයන් හා නොනිල මැරයන් යොදාගනිද්දී අනෙක් පසින් විශ්වවිද්‍යාල වල පරිපාලනය තම ගැත්තන්ට ලබාදී ඔවුන් හරහා ශිෂය මර්ධනය කැඳවන අතර මේ වනවිට ශිෂ්‍ය මර්ධනය සඳහා නීතිය හා අධිකරණය යොදාගෙන තිබේ.

මෙලෙස දැඩි මර්ධනයක් එල්ලකර ඔවුන් සැරසෙන්නේ ඔවුන්ගේ අධ්‍යාපන ප‍්‍රතිපත්තිය කි‍්‍රයාවට නැංවීමට බව ඉතිහාසයක් පුරාවටම අපට කියාදී තිබේ. 2011 වර්ශයේදී ශිෂ්‍ය නැගිටීම් මත හකුලාගත් පෞද්ගලික විශ්වවිද්‍යාල පනතේ අඩංගු අරමුණු ”ගැසට් පත‍්‍රයකට” රිංගවා පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අවශ්‍ය නෛතික රාමුව සකසා ඇත . අධ්‍යාපන වෙලඳකලාප හරහා පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අවශ්‍ය ඉඩම් හා ණය පහසුකම් ලබාදී තිබේ.

තවද ”සපිරි පාසල් ” ව්‍යාපාතිය යටතේ අඩුපාඩුකම් සහත පාසල් 3000ක් වසා දැමිමේ ලෝක බැංකු ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක වෙමින් පවතී. මෙම ආර්ථික ක‍්‍රමයට ගැලපෙන ශ‍්‍රම වහලූන් නිශ්පාදනය කිරීම සඳහා උසස් පෙල විෂය ධාරාවට තාක්ශණෙවිදය නමින් විශයක් හඳුන්වාදී තිබේ.පාසල් පෙල පොත් වෙලඳ පොලට ඉදිරිපත් කිරීම මගින් පෙල පොත් මුදලට ලබාගැනීමට සැලැස්වීමට උත්සාහ දරයි. පෞද්ගලික පාසල් නීතිගත කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභා යෝජනාවක් සම්මත කරගෙන තිබේ.

නව ලිබරල් ධනවාදයේ පලමු ඉනිම තුල සියලූ සුභ සධන සේවාවන් ලාභ ලබන තත්වයට පත්කිරීමට උත්සාහ දැරුවත් අධයාපනයට එය සිදු කිරීමට නොහැකිවිය. නමුත් අනෙක් සියලූ සුභසාධන සේවාවන් ලාභ ලබන තත්වයට පත්කෙරින. එහි ප‍්‍රතිඵලයක් ලෙස නිදහස් සෞඛ්‍ය සේවාව හා ප‍්‍රවාහන සේවාව ලාභ ඉපැයීමේ සේවාවන් බවට පත්කිරීමෙන් අත්වී ඇති ඉරණම ඉතා පැහැදිලිය. රෝහල්වල බෙහෙත් නැත . රෝගීන්ට පාරක් පාරක් ගානේ මුදල් එකතු කිරීමට සිදුව ඇත. රෝහල් ගාස්තු ගෙවන තුරු සිය දියණියට රෝහල් නිවාස අඩස්සියේ සිටීමට සිදුව ඇත. ලාභය වෙනුවෙන් මිනිස් ජීවිත සිය දහස් ගනන් විනාශ කරන තත්වයට පත්ව ඇත . අධ්‍යාපනය වෙලඳ භාන්ඩයක් කිරීමෙන් මෙම තත්වය ඇති නොවන බවට අනුභූතිවාදීන් නොවන සියල්ලන්ටම තේරුම් යනු ඇත .

අධ්‍යාපනය වෙලඳ භාන්ඩයක් කිරීම තුලින් එය සමාජයේ එක් පංතියක වරප‍්‍රසාදයක් කිරීම පාලකයන්ගේ වුවමනාව වේ. අධ්‍යාපනය යනු සමාජීය අයිතියකි. අධ්‍යාපනය ලැබීමේ අයිතිය සෑම පුදුගලයෙකුටම තිබිය යුතුය අධ්‍යාපනයේ අරමුණ විය යුත්තේ මානව සමාජයේ පැවැත්මට හා ඉදිරි ගමනට ඉවහල් වන දැනුම සම්පේ‍්‍රශනය කිරීමයි.

නමුත් මේ වන විටත් අධ්‍යාපයෙන් 17% පාසල් සිසුන් පිටමන් වී හමාරය. උපාධිය ලබා ගැනීමට මුදල් ගෙවීමට සිදුවෙමින් පවතී. පාසල් නඩත්තු කිරීම දෙමව්පියන්ගේ කරමත පැටවී ඇත මේ වන විටත් අධ්‍යාපනය වෙන්දේසි කිරීම සඳහා බන්දේසියක තබා හමාරය.

මේ අද වන විට අධ්‍යාපනය තුල ඇති සැබෑ තත්වයයි. අද සරසවිවල පිලිබිඹු වන්නේ මුලූ මහත් සමාජයේම පිලිබිඹු වන තත්වයයි. අධ්‍යාපන ප‍්‍රශ්නයට පාලකයන් ඇහුම්කන් නොදෙන්නේ රටේ ජනතාවගේ ප‍්‍රශන වලට ඇහුන්කන් දීමට පාලකයින්ට අවශ්‍ය නොවන නිසාවෙනි. සරසවි සිසුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි වී ඇත්තේ රටේම ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි වී ඇති නිසාවෙනි. සරසවි සිසුන් මර්ධනය කරන්නේ රටේම ජනතාවගේ මානව අයිතිවාසිකම් උල්ලංගනය වී ඇති නිසාවෙනි. සරසවි සිසුන්ගේ සුභ සාධන ප‍්‍රශ්න වලට පාලකයන්ට පිලිතුරු නැත්තේ ආර්ථිකය කඩාවැටී ඇති නිසාවෙනි. අධ්‍යාපන ප‍්‍රශ්න වලට පාලකයන්ට විසදුම් නැත්තේ රටේ ප‍්‍රශ්න වලට පාලකයන්ට විසදුම් නොමැති නිසායි. අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්නේ එය ධනේශ්වර ආරිථික ප‍්‍රතිපත්තිය නිසායි. මෙම තත්වය වෙනස් කිරීමට අප පෙරමුණ ගත යුතුය. මේ සඳහා ශිෂ්‍යන්ට පමනක් තනිව සටන් කල නොහැක. ශිෂ්‍ය අයිතීන් දිනා ගැනීමට නම් ජනතාවගේ අයිතීන් දිනාගත යුතුය. ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලැබෙන විට ශිෂ්‍යන්ටද ලැබේ. මානව අයිතිවාසිකම් දිනාගන්නා විට ශිෂ්‍යන්ටද ලැබෙනු ඇත . මේ නිසා අප එක්ව සටන් කල යුතුය දැන් එයට කාලය එලඹ ඇත. තනිව සටන් කිරරීමෙන් තනි තනිව විනාශවේ. එබැවින් අපේ සටනට අපි ඔබට ආරාධනා කරමු...

0 comments:

Post a Comment